නියම සිංහල අවුරුද්ද දුප්පත් පැලේ තාමත් සැමරෙනවා
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි
සියලු ම දෙනා එකට එක්වී එකට ලිපි ගිනි මොළවා එක ම වේලාවක ආහාර අනුභව කරන වසරේ එක ම දිනය අදට (14) යෙදී ඇති සිංහල හින්දු අලුත් අවුරුද්දයි. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සමරන මේ මෙහොතේ අලුත් අවුරුද්දේ සමාජ, ඓතිහාසික ගමන හා මෙහෙවර ගැන මෙවර පුන්කලස අවුරුදු විශේෂ අතිරේකයේ මුවදොර වදනට අදහස් දැක්වීමට අප ගෞරව පෙරදැරි ව ආරාධනා කොට සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අප ස්වාමීන් වහන්සේටයි. උන්වහන්සේ මේ සංලාපය මඟින් අලුත් අවුරුද්ද බෞද්ධයාගේ මනසට එක්කරන සංහිඳියාව පිළිබඳ ව සනිදර්ශිත විග්‍රහයක යෙදෙති.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සිංහල අලුත් අවුරුද්ද සංස්කෘතිකමය මංගල්‍යයක් වශයෙන් ද එසේත් නැතිනම් ජ්‍යෝතිෂය පදනම් කරගත් නැකැත් උලෙළක් වශයෙන් ද ඔබ වහන්සේ දකින්නේ.
සිංහල අලුත් අවුරුද්ද කියන්නේ මේ රටේ ජාතික මහෝත්සවය. හැම ජාතියකට ම යම් අනන්‍යතාවක් තිබෙනවා, ඒ රටට අයත් සිරිත් විරිත් සම්ප්‍රදාය ගැන. ඒ සිරිත් විරිත් සම්ප්‍රදාය මූලික ව පවත්වන දවස තමයි මේ අවුරුද්ද. ඒක පදනම් වෙලා තියෙන්නේ ජ්‍යෝතිෂයට අනුවයි. නැකැත්වලට අනුකූලවයි සිරිත් විරිත් පවත්වන්නේ. ඒ නිසා මේක ඔබ කියූ කොටස් දෙකේ ම සංකලනයක්. අනාදිමත් කාලයක ඉඳලා අපේ රටේ ජනතාව විශේෂයෙන් ම, භාරතීය බලපෑමත් මත ජ්‍යෝතිෂය ගැන පිළිගැනීමක් තිබුණා. ඒ වගේ ම සුබ මුහුර්ත ගැනත් විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසයත් සමඟ මිශ්‍ර වෙලා තමයි මේ ජාතික සිරිත් විරිත් පවත්වන්නේ. මම දකින විදියට ජ්‍යෝතිෂයටත් වඩා මේක වැඩි නැඹුරුවක් දක්වන්නේ ජාතික, සංස්කෘතික උත්සවයක් හැටියට බවයි.
සිංහල අලුත් අවුරුද්ද හින්දු ආගමේ සහ සංස්කෘතියේ බලපෑමෙන් ඇතිවූවක් ය යනුවෙන් මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් දක්වා ඇති මතය ගැන ඔබ වහන්සේගේ අදහස.
අනිවාර්යයෙන් ම හින්දු කොහොම වෙතත් භාරතීය බලපෑම අපේ ලංකාවට ලැබුණා. සිරිත් විරිත් ආදිය පැවැත්වීම වුණත් එහෙමයි. අපට බුදු දහම ලැබුණෙත් ඉන්දියාවෙන්. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා බුදු දහම හඳුන්වා දීමත් සමඟ ම ලංකාවට ආවේණික සංස්කෘතියකුත් උන්වහන්සේ හඳුන්වා දුන්නා. ඒ වන විට මේ රටේ පැවැති යම් යම් විශ්වාස, ඇදහීම් වලට විකල්ප උන්වහන්සේ ඉදිරිපත් කළා. ඒවා බුදු දහමට අනුකූල පරිදි සකස් කිරීම් සිදු කළා. මිහිඳු හාමුදුරුවෝ අපිට හඳුන්වා දුන්න සංස්කෘතිය කෙළින් ම භාරතීය සංස්කෘතිය නොවෙයි. ඉන්දියාව අපිට සමීප විශාල ම රාජ්‍යයක් වුණත් අපේ සංස්කෘතියේ ඉන්දීය සංස්කෘතියට වඩා වෙනස් ලක්ෂණ තිබෙනවා.
ඒ වෙනස් ලක්ෂණ ඇතිවීමට ප්‍රධාන හේතුව බුද්ධාගම. නමුත් නිරන්තරයෙන් ම අපිට භාරතීය සංස්කෘතික බලපෑම, විශේෂයෙන් හින්දු සංස්කෘතික බලපෑම් සමාජයට ලැබුණා. අපට කියන්න බැහැ මේ සේරම චාරිත්‍ර අපි පවත්වන්නේ හින්දුන්ගෙන් ලබාගෙන කියලා. හින්දු ආගමේ තිබුණු යම් යම් විශ්වාස එක්ක අපට ආවේණික වූ සිරිත් විරිත් අපි සංයෝග කළා. තනිකර ම හින්දු චාරිත්‍ර ම අපි පවත්වනවා කියන මතයට මම එකඟ නැහැ. අපේ දේවල් මේ සිරිත් විරිත්වලට මිශ්‍ර වුණා.
සශ්‍රීකත්වය කියන කාරණයේ දී අස්වනු කැපීම, ගෙට ගැනීම හා අලුත් සහල් මංගල්‍යය විශේෂයි. මේ සොබාදහමේ හා ආර්ථිකයේ සශ්‍රීකත්වය අලුත් අවුරුද්ද ඇතිවීමට බලපෑම් කරන්නට ඇතැයි බොහෝ දෙනා පවසනවා.
ඉන්දියාව වගේ ම අපිත් කෘෂිකාර්මික රටක්. හුඟක් දුරට ‘බත’ මූලික කරගෙන තමයි අපේ සංස්කෘතිය වර්ධනය වෙලා තියෙන්නේ. ගොවිතැන් කිරීමට ආරම්භ කිරීමේ පටන් අස්වනු නෙළා ගැනීම දක්වා ම චාරිත්‍රානුකූලවයි එය සිදු කෙරෙන්නේ. අස්වනු කපා ගන්නේ, ගෙට ගන්නේ චාරිත්‍රවලට මූලික තැන දෙමින්. ඊළඟට ආගමික චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දීලා අස්වැන්නෙන් මුල් කොටස බුද්ධරත්නයට සංඝරත්නයට දෙවියන්ට වෙන් කරලා පූජා කරලා තමයි පරිභෝජනයට ගන්නේ. හින්දු සංස්කෘතියේ යම් ආභාසයක් අපට ලැබුණත් අපේ දේවල් අපට ආවේණික ලෙස ගොඩනැඟී තිබෙන බව මේ චාරිත්‍ර වලින් පෙනෙනවා.
‘සිංහල පුවත්පත් කලා ඉතිහාසය’ කෘතියේ සඳහන් වෙනවා හාමුදුරුවනේ, අවුරුද්ද ගැන උද්‍යෝගයක් ඇතිවුණේ 1915 දී පමණ යැයි කියා. ඒ අප යටත් විජිතයක් ව ශතවර්ෂයකට පසුවයි. මෙය හඳුන්වා ඇත්තේ ජාතික උත්සවය නමින්. ජාතික උත්සවය හා අලුත් අවුරුදු උත්සවය එකක් ද?
1915 නෙවෙයි, 1815 ටත් කලින් අපේ අවුරුදු උත්සවය පවත්වාගෙන ආවේ. 1815 කියන්නෙත් අපි යටත් විජිතයක් වුණු වසර. ඒ කාලේ මිනිසුන්ට ලොකු හැඟීමක් තිබුණා ‘දැන් අපේ රට යටත් වුණා’ කියලා. භෞමික වශයෙන් අපි යටත් වුණාට අපේ අනන්‍යතාව, අපේකම රැකගන්න මිනිස්සු ජාතික උත්සව පැවැත්වුවා. චාරිත්‍ර වාරිත්‍ර ඉටුකළා. 1915 ආරම්භ වුණා කියලා කොහොමවත් කියන්න බැහැ. අනුරාධපුර යුගයේ සිට මේ දක්වා ම පැවතගෙන එන සිරිත් විරිත් තමයි මේවා. මේ සිරිත් විරිත් විනාශ කරන්න 1815 න් පස්සෙ බටහිර අධිරාජ්‍යවාදීන් විශාල ප්‍රයත්නයක් දැරුවා. අපි බටහිර සංස්කෘතිය හඳුන්වා දීලා අවුරුද්ද වෙනුවට නත්තල ආදේශ කරලා, බටහිර උත්සව සම්ප්‍රදායන් අපට හඳුන්වා දුන්නට අපේ සිරිත් විරිත් සම්පූර්ණයෙන් ම නවත්වන්න ඔවුන්ට පුළුවන්කමක් ලැබුණේ නැහැ. අධිරාජ්‍යවාදීන්ට යටත්වුණු සමහර රටවල් ඔවුන්ට සංස්කෘතිකමය වශයෙනුත් යටපත් වුණු අවස්ථා තියෙනවා. නමුත් අපේ රටේ මිනිස්සු අපේකම සම්පූර්ණයෙන් විනාශ වෙන්න දුන්නෙ නැහැ.
ඔබ වහන්සේ කරුණු දක්වන පරිද්දෙන් ම, සුනේත්‍රා දේවියගේ නමින් ඉදිකළ පැපිලියානේ තිබෙන 15 වැනි සියවසට අයත් සෙල්ලිපියක අවුරුදු පූජාව, අලුත් සහල් මංගල්‍යය ගැන සඳහන් වෙනවා. ඒ මඟිනුත් සනාථ වෙනවා නේද හාමුදුරුවනේ සිංහල අවුරුදු උත්සවයේ ඉතිහාසය 1815 ට පෙර බව.
ඔව්. එයත් මේ මතයට උදාහරණයක්. මහාවංශයේ එන සඳහනත් උදාහරණ සේ ගන්න පුළුවන්. සමහර දෙනා මේ චාරිත්‍ර අවුරුද්ද හා එල්ලාගත් සිරිත් විරිත් වශයෙන් චෝදනා කරනවා. ජ්‍යෝතිෂයට මුල්තැන දීලා නැකැත්වලට කරනවා කියලා කියනවා. අපි එහෙම කියලා මේ චාරිත්‍ර අතහැර දැම්මා නම් අපිට කියලා සංස්කෘතියක්, අනන්‍යතාවක් ඉතිරි වන්නේ නැහැ. පාලන තන්ත්‍රය අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය පරිදි කරගෙන ගියත් සාමාන්‍ය ගැමියා තමන්ට හැකි අයුරින් සංස්කෘතිය රැකගත්තා. එක්තරා සමාජ පන්තියක් මේවා නොතකා හැරියා.
සිංහල අලුත් අවුරුද්දේ ආගමික පසුබිම ගැන ඔබ වහන්සේගේ අදහස කුමක් ද?
ඇත්ත වශයෙන් ම මේක සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියලා ව්‍යවහාරයක් තියෙනවා. හින්දු ආගමේ බහුතරය වන දෙමළ ජනතාව මේ අවුරුද්ද සමරනවා. චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවා. නමුත් රටේ බහුතර ජනතාව හැටියට සිංහල අය බෞද්ධයන්. ඒ නිසා අපේ හුඟාක් සිරිත් විරිත් බුදුදහමට සම්බන්ධයි.
නොනගතය ගන්න. ඒ වෙලාවට නැකැත් නැහැ. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන වෙලාවට එක්තරා කාල සීමාවක් ඇතුළත කිසිම නැකතක් නැහැ. අපි ඒ වෙලාවට කියන්නේ පුණ්‍යකාලය කියලයි. ඒ නමින් ම පේනවා බුදුදහමට මේක කොච්චර සම්බන්ධ ද කියලා. ඒ කාලයේ අපි කරන්නේ පින් දහම් කරන එකයි. වෙහෙර විහාරස්ථානවලට ගිහින් වන්දනාමාන කරලා, භික්ෂුන් වහන්සේ මුණ ගැහිලා කතාබහ කරනවා. ඒ නිසා බුදුදහම සහ අලුත් අවුරුද්ද විශේෂ බැඳීමකින් යුතුයි.
සිංහල අවුරුද්දේ චාරිත්‍ර සමඟ විද්‍යාත්මක බැඳීමක් තියෙනවා නේද හාමුදුරුවනේ. බෙල්ලන්විල රජමහා විහාරයේත් මහත් උත්සවශ්‍රීයෙන් කෙරෙන හිසතෙල් ගෑම ඊට නිදර්ශනයක්.
හිසතෙල් ගෑම සඳහා බොහෝ දුරට බෞද්ධයන් එන්නේ විහාරස්ථානයටයි. විහාරස්ථානයේ තමයි ඒ සඳහා අවශ්‍ය නානු සකස් කරන්නේ. එය ඉටු කරන්නේ භික්ෂුන් වහන්සේ නමක් හෝ පන්සලේ සිටින වැඩිහිටියෙක්. ඒ ආශිර්වාදය ම හිතට ඔසුවක්. අපේ සමාජයේ හිසතෙල් ගෑම කියන එක අභාවයට යමින් තිබෙනවා. ඖෂධීය ප්‍රතිකාරයක් හිසට ලබාදීම මෙහි අරමුණක්. දැන් බොහෝ දෙනා තෙල් ගාන එක නතර කරලා පිටරටින් එන විවිධ ක්‍රීම් වර්ග තමයි පාවිච්චි කරන්නේ. තෙල් ගාන අය ගැන හිතන්නේ පරණ ආදිකල්පිත ආකල්ප තියෙන මිනිස්සු කියලයි. සොබාදහම එක්ක මෙහිදී සහජීවනයක් තියෙනවා. තෙල් හදන්න ගන්නේ ඖෂධීය කොළ වර්ග. අපේ ජීවිතය හා පරිසරය එක්ක සම්බන්ධ වෙන දේවල්. දැන් ඔළුවල ගාන බොහෝ දේ කෘත්‍රිම දේවල්.
අනෙක සිංහල අවුරුද්දේ තියෙන තවත් ලක්ෂණයක් තමයි ස්වභාවධර්මයට ගරු කිරීම. මේ සිරිත් විරිත්, සියල්ල සොබාදහමේම කොටස්. ගෙවල් දොරවල් අස් කිරීම, මුළුතැන්ගෙය අලුත් කිරීම ආදියත් අපේ මනසට බලපානවා. හැමෝම අලුත් ඇඳුම් අඳිනවා, විවිධ ක්‍රීඩා වල නිරත වෙනවා. මේ සියල්ල අලුත් වීම අපේ මනසට බලපෑම් කරනවා. ඒ මඟින් අපට උත්තේජනයක් ලැබෙනවා.
අලුත් අවුරුද්ද හා වෙළෙඳපොළ යාන්ත්‍රණය අතර පවතින සම්බන්ධය ඔබ වහන්සේ දකින්නේ කෙසේ ද?
නත්තල ගන්න. ඊට මාස ගණනකට පෙර සිටයි එයට කට්ටිය සූදානම් වෙන්නේ. ලයිට් දාලා, සරසලා, සේල් දාලා නත්තල් සීයවත් විකුණලා තමයි නත්තල් සමරන්නේ. බටහිර සංස්කෘතියත් එක්ක එහි යම්කිසි ගැළපීමක් තිබුණට අපේ රටේ තියෙන උත්සවත් එක්ක එහි නොගැළපීමක් තිබෙනවා. හැබැයි අද අපේ වෙසක් උත්සවයත් වාණිජත්වයට යටවෙලා තියෙන්නේ. අපි පොඩි කාලේ වෙසක් කූඩුවක් හදන්න කොච්චර මහන්සි වෙනව ද? ඒක අපිට කොයිතරම් සතුටක් ගෙන ආව ද? නමුත් අද එවැනි තත්ත්වයක් නැහැ.
අද දරුවෝ වෙසක් කූඩු ගන්නේ කඩෙන්. ඉතින් අර තෘප්තිය නැහැ. වෙළෙඳපොළ විසින් සියලු ම ආගමික, සංස්කෘතික උත්සව ආක්‍රමණය කරලා තියෙන්නේ. අලුත් අවුරුද්දත් වාණිජකරණය වෙලා තියෙනවා. මේ වෙළෙඳ ආර්ථිකයත් එක්ක එය නැවැත්වීමත් අපහසුයි. අද අපි ජීවත් වෙන්නේ කෘෂි ආර්ථික රටාවක නොවෙයි, වෙළෙඳ ආර්ථික රටාවක. මෙහිදී හැම දෙයක් ම මනින්නේ මුදලින්.
මේ වෙළෙඳ ආර්ථික රටාව විසින් දුප්පතාට අවුරුදු අහිමි කර තිබෙනවා යැයි ඔබ වහන්සේ හිතනව ද?
දුප්පත් මිනිස්සුන්ට මේ වෙළෙද තරගයත් එක්ක යම් අසාධාරණයක් සිද්ධ වෙනවා. අවුරුදු කෑම දුප්පතුන්ට අද අසීරු වෙලා තියෙනවා. භාණ්ඩ මිල, අත්‍යවශ්‍ය සේවාවල ගණන් මිමි අනුව දෛනික වේතනයක් ලැබෙන කෙනකුට යැපෙන්න අමාරුයි. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. මට හිතෙන්නේ තවමත් අපේ අවුරුද්ද රැකිලා තියෙන්නේ දුප්පත් මිනිසුන්ගේ නිවෙස්වල මිසක් පෝසත් මිනිසුන්ගේ ගෙවල්වල නොවෙයි. පෝසත් මිනිසුන්ගේ ගෙවල්වල කේක් ගෙඩියක් ගෙනැල්ලා මත්පැන් සාද පවත්වලා තමයි අවුරුද්ද සමරන්නේ. නමුත් දුප්පත් මිනිස්සු තාමත් තමන්ට පුළුවන් ඉහළින් අවුරුදු සමරනවා. දුප්පත් වුණා කියලා පන්සල් එන්න බාධාවක් නැහැ. චාරිත්‍ර වාරිත්‍ර කරන්න අපහසුවක් නැහැ. ඒ නිසා දුප්පත් පැලේ තමයි නියම අවුරුද්ද තියෙන්නේ.
හාමුදුරුවනේ, අද ජනමාධ්‍ය මඟින් තමයි බොහෝ විට අලුත් අවුරුද්ද නිරූපණය කරන්නේ. ජනමාධ්‍යයෙන් නිරූපිත අවුරුද්ද හා අපේ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද එකක් ද?
අද රටේ හැම දෙයක් ම මාධ්‍ය බාර අරගෙන තියෙන්නේ. ඔබ මේ මාධ්‍යවේදිනියක් විදියට මගෙන් අහන්නෙත් අවුරුද්ද ගැන. එය වෙන ම භූමිකාවක්. අද අවුරුදු, වෙසක් මේ හැම දෙයක් ම පවත්වන්නේ මාධ්‍ය. මේ බාර ගැනීම නිසා මේ දේවල්වලට අදාළ සියලු ම දේ කෙරෙන්නේ මාධ්‍යයට අනුකූල ව. මාධ්‍යවලින් ලබාදෙන ප්‍රචාරණයේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි මේ අවුරුද්ද ගැන, අවුරුදු සිරිත් ගැන මතක් කර දීම. ඔබ කරන්නේ ඒ පෙරගමන් කාර්යය. ඒ වගේ ම තව පැත්තක් තියෙනවා.
මාධ්‍යයේ නිරූපණය කරන අවුරුද්ද අපේ ජනජීවිතයේ තියෙනව ද කියන එක ප්‍රශ්නයක්. විද්‍යුත් මාධ්‍යයෙන්, මුද්‍රිත මාධ්‍යයෙන් බැලුවොත් හැම දෙයක් ම මෙහෙයවන්නේ මාධ්‍ය මඟින්. අවුරුද්දේ නැකත් ආරම්භ වුණු දවසේ ඉඳන් සියලු දේ ප්‍රචාරය කරන්න මාධ්‍ය ලැහැස්ති වී ඉන්නවා. මේවා අපි ඒ කාලේ ප්‍රදර්ශනයට කළ එවා නොවෙයි. තම තමන්ගේ නිවෙස්වල ඉඳන් මිනිස්සු බොහොම නිහඬ ව ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළා. අද මාධ්‍යයෙන් අලුත් අලුත් දේ එකතු කරමින් අවුරුදු සමරන අයුරු පෙනෙනවා. මේ මඟින් හොඳ දේ වගේ ම නරක දේත් සමාජගත වෙන්න පුළුවන්. මේ ප්‍රදර්ශනකාමී සිතිවිල්ල බෞද්ධයන් වෙන අපට මුල කාලේ තිබුණේ නැහැ. එයත් මේ වාණිජකරණයත් සමඟ ආ දෙයක්.