අඹ ගෙඩියකින් කරන්න පුලුවන් දේවල් 5ක්.
අඹ!
අඹ වලට කවුද අකමැති? අඹ කියන්නෙ ඉතාම රසවත් පළතුරක්. කොච්චර රසවත්ද
කියනවනම් සුවිශේෂී යාලු කමක් හඳුන්වන්නත් අඹ යාලුවෝ කියල කියනවනෙ. හින්දු
වේද ග්‍රන්ථ වල දෙවියන්ගේ ආහාරය (Food for the gods) හැටියටත් අඹ
හැදින්වෙනව.
අඹ කියන්නෙ වෙනස් වෙනස් රස මවන්න සමත් පළතුරක් බාගෙට පැහීගෙන එද්දි දත්
හිරිවට්ටන ඇඹුල් රහටත් හොඳට ඉදුනම මී පැණි වගේ පැණි රහටත් කන්න පුලුවන්
පළතුරක්. විවිධ රසයන්ගෙන් යුතු විවිධ අඹ වර්ග බොහොමයක් අපිට එදිනෙදා
පොළේදි, සුපර් මාර්කට් එකේදි මිලදී ගන්න පුලුවන්කම තියනවා. විලාඩ්, මී අඹ,
කර්තකොලොම්බන්, අල්පොන්සො, ගිරා අඹ… හිතල බලන්න මේ වගේ අඹ වර්ග කීයක්
ඔයාලත් රස විඳල තියනවද කියල.
අද අපි කියන්න යන්නෙ මේ රසවත් පළතුරෙන් අපි හැමෝටම කරන්න පුලුවන් දේවල්
පහක් ගැන. මේ ලැයිස්තුවේ එන 5වෙනි කරුණ ඔයාලව පුදුමයට පත් කරන්නත් ඉඩ තියනව
කියල කලින්ම කියන්න ඕන.
1. අඹ අච්චාරු
කටට කෙල වගුරවන අඹ අච්චාරුව
Source – pinterest.com
අච්චාරු නම ඇහුවමත් ලුණු, මිරිස්, සීනි,විනාකිරි සුවද දැනෙනව වගේ නේද?
අච්චාරුවක් හදන්න මහ ලොකු සූපවේදී දැනුමක් තියෙන්න ඕනෙ නෑ. ඉස්සර පොඩි
කාලෙ සෙල්ලම් කරද්දි පොඩි විවේකයක් ලැබුණම අහල පහලක අඹ ගහකට ගලකින්,
පොල්ලකින් ගහල අඹ ගෙඩි දෙක තුනක් බිම වට්ටගෙන ඔයාලත් ඕන තරම් අච්චාරු හදල
ඇති නේද?
හරි, හදල නැති අය ඔන්න අහගන්න.
ගන්න අඹ ගෙඩි දෙක තුනක්. බාගෙට ඉදිච්ච නම් වඩාත් හොඳයි. සෝදල සුද්ද කරල
පොඩි තීරු වලට කපා ගන්න. ඊට පස්සෙ යන්න කුස්සියට. ගිහින් ලුණු, සීනි තේ
හැන්දක් බැගින් , විනාකිරි තේ හැන්දක්, මිරිස් ගම්මිරිස් මේස හැඳි දෙක
තුනක් බැගින් භාජනයකට දා ගන්න. දැන් මේව ඔක්කොම කපාගත් අඹ කැබලිත් එක්ක
මිශ්‍ර කරගන්න. පොඩි වංගෙඩියක් තියනවනම් මේ මිශ්‍රණය ටිකක් තලාගන්න. එතකොට
තවත් රසවත්.
දැන් ඉතින් සූස් සූස් ගගා කන්න තමයි තියෙන්නෙ.
2. අඹ ස්මූති
රස කර කර බොන්න අඹ බීමක්
Source – pinterest.com
ස්මූති හදන්නත් පුලුවන්. තිබහට වගේම පොඩි බඩගින්නටත් කියාපු දෙයක් තමයි
මැන්ගෝ ස්මූති කියන්නෙ. කිරි, අයිස්ක්‍රීම් සහ කපාගත් ඉදුණු අඹ කැබලි
බ්ලෙන්ඩ් කරගෙන අපි කාටත් පහසුවෙන්ම ගෙදරදී මේ පානයක් හදාගෙන රස බලන්න
පුලුවන්. රසයට වඩා ශරීර සුවතාවයට මුල් තැන දෙනවනම් කිරි සහ අයිස්ක්‍රීම්
ඉවත්කොට ඒ වෙනුවට මේද රහිත කිරි හෝ ආමන්ඩ් කිරි වගේ දෙයක් ආදේශ කරගන්නත්
පුලුවන්.
විටමින් A,B,C තියන නිසා රසවත් විතරක් නෙමෙයි ගුණයෙනුත් පිරිපුන් පානයක්.
3. අඹ චට්නි
ගිහාන්ගේ ලෝක ප්‍රසිද්ධ අඹ චට්නිය
Source – https://www.facebook.com/1suru
අඹ චට්නි ටිකක් තියනවනම් කෑම මේසෙට උත්සව සිරියක් එනවා. පොඩි පැණි රසක්
සහ පුංචි සැරක් ගෙනදෙමින් එදිනෙදා කෑම වේල තවත් රසවත් කරන කල්තබාගතහැකි
නියම කෑමක් තමයි අඹ චට්නි කියන්නෙ. ටිකක් අන්තර්ජාලය විමසල බැලුවොත්
ගෙදරදීම පහසුවෙන් පිළියෙල කරගතහැකි අඹ චට්නි රෙසිපියක් සොයාගන්න අපහසු වෙන
එකක් නෑ.
4. අඹ මාලුව
බත් එක්ක නියමෙට ගැලපෙන අඹ මාලුව
Source – sailusfood.com
රැයක් අඟුරු උඩ හිදෙන්න තියල ඉස්සර ආච්චිලා හදන අඹ මාලුව කොච්චර රසද?
දැන් එහෙම නැති උනත් ගෙවත්තෙන් හෝ මාකට් එකෙන් ගන්න අඹ ගෙඩි කිහිපයකින්
ගෑස් ලිපෙන් උනත් රසවත් අඹ මාලුවක් සාදා ගන්න ඔයාලටත් හැකියාව තිබෙනවා.
මස් මාලු නැති බත් පතක් උනත් රසවත් කරන්න පුලුවන් තරම් රසවත් කරියක්
තමයි මේ අඹ මාලුව. ඒ විතරක් නෙමෙයි උණු උණු රෝස්පාන් එක්ක රස විඳල බලන්න.
හරිම රසවත් අත්දැකීමක් වෙනවා සත්තයි.
එහෙත් මේ මොන දේ හැදුවත් අඹ ඇටේ අහක දාන්න එපා!
5. හිසකෙස් රකින්නට ඔබටම සාදා ගත හැකි අඹ තෙලක්
අකාලෙට කෙස් හැලීම හෝ පැසීමට පිළිතුර
Source – edibletropicalplants.com, 965malls.com
කාල විසි කලා නේද අඹ ඇටේ? අයියෝ! යන්න යන්න ගිහින් ආපහු ඇහිඳන් එන්න.
අඹ ඇටය හොඳින් වියලවා ගන්න. ඊට පස්සෙ ඒකෙ පිට පොත්ත ඉවත් කරල මදය
අරගන්න. ඔලිව් හෝ පොල් තෙල් ටිකක් වීදුරු භාජනයකට දාන්න. ඉන්පස්සේ අඹ ඇටය
එයට දමා සතියක් විතර ඉර එළියට නිරාවරණය වෙන තැනක තියන්න.
සතියකට පස්සෙ ඔයාලට හම්බවෙන්නෙ නියම අඹ ඔයිල් එකක්. ඒක හිස් කබලේ
ඇතිල්ලීමෙන් හිස්හොරි, අකලට කෙස් පැසීම කෙස් හැලීම ගොඩක් අඩු කරගන්න
පුලුවන්.