පාරුවල බඩු පටවා එහා මෙහා ගෙන යෑමට ගංගා බොහෝ ප්‍රයෝජන විය. ඒ ගමන්වලදී පාරුකාරයෝ මේ ආදී කවි කියමින් ප්‍රීත වූහ.
ගමන් යන්න නැකතින් පාරු පැද ගෙන
සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ ගෙන
මෙවන් කළු ගඟේ ගල් මුල් බලා ගෙන
අපිත් යමුව සැම දෙවියන්ඩ වැඳ ගෙන
සීරුව ඔබට කණු නො ම සිටුවා මහත
වාරුව ඇතුව දිය පිට තැනු ගෙයක් ඇත
මාරුව තැනින් තැන මඩු ගෙන ගමන් යත
පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ නැත
ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාදුකාර දී ඔරුවේ නැගී වරෙන්
මොට ද උපන්නේ මේ වියලුවේ රටේ
බැඳපු ගල් බැම්ම මයියංගණේ වටේ
ඔරුවට නැගීලා සුරතට ගත්තු රිටේ
පාරු පදින රුව බල වේරගං තොටේ
කළු, කැලණි, මා වැලි යනාදී ගංගාවල පාරුවලින් එකල ගමනාගමනය කළා පමණක් නොව වෙළෙඳ බඩු එහා මෙහා ගෙන ආ බව ද ගැමි කවිවලින සිතා ගත හැක.
මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා
තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතා ගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා
කතර ගමයි දේවාලය දෙවියන්ගේ
අතර මගයි අද අපි දිය නෑවේ ගඟේ
සතර දෙනයි ගැවේ රන් සඳුන් ඇගේ
වතුර හොඳයි කවදත් නිල්වලා ගඟේ
මේ කවි දෙකෙන් මාතර නිල්වලා ගඟ කිඹුලන්ගේ උවදුරින් දුරු වූ බවත් ඔරු පාරු ගමනාගමනයෙන් බඩු හුවමාරුවට උදව් වූ බවත් කතරගම වන්දනාවේ යෑමේදී මාතර පසුකරන විට හොඳ ජලයෙන් පිරුණු නිල්වලා ගඟෙන් නාලා යෑම සිරිතක් බවත් මතක්කරවයි.
ගොඩ ගොවිතැන (=හේන් කිරීම), මඩ ගොවිතැන(=කුඹුරු කිරීම) ආහාර සැපයීමේ ප්‍රධාන මාර්ග වූ අතර ඒ ධාන්‍ය වර්ග, කටුසරබෝග හුවමාරු කර ගැනීමට ගැල්(=කරත්ත)පැදවීම, පාරු ගමනාගමනය අපේ ජනතාවට බෙහෙවින් උපකාර විය. මේ දුක්බර දිවිපෙවෙත් බව අමුතුවෙන් කිවයුතු නොවේ. පාරු පැදී රැකියාව කර ගත් අය ජීවිතය හා සටන ගෙන ගියේ මහත් කරදර දුක් විඳිමිනි. පූරුවේ කරපු අකුසල් පලදීම සැබෑ බව මෙනෙහි කරමින් පසුතැවිලි වෙමින් පාපොච්ඡාරණය නියායෙන් පාරුකාරයන් අතර පැවැති පැදියක් මේ.
සීරුවේ ඇවිත් ඉඳගෙන පාරුවට
මාරුවේ හබල් අදනව විටින්විට
පූරුවෙ කරපු අකුසල් ගෙවන්නට
පාරුවේ ඇවිත් දුක් විඳිනව දැනට