දේශ හිතෛෂී විදේශීය කවියා,ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්

ශ්‍රී ලංකාව වසර පන්සියයකට ආසන්න කාලයක් විදේශීය ජාතීන් තුනක සෘජු යටත් විජිතයක්‌ව පැවතුණි. එම වකවානුවේදී විදේශීය ආක්‍රමණවලට විරුද්ධව නිදහස් සටනට පණ පෙවූ ලක්‌මවගේ අතිජාත දූ පුතුහු ගිහි පැවිදි දෙපිරිසම වූහ. එහෙත් ලක්‌මගේ අතිජාත පුත්‍රයෙක් ලෙස මෙරට ජන්ම ලාභය නොලැබුවත් ලක්‌මවගේ අතිජාත පුත්‍රයකු බවට පත්වී පරාධීනත්වයෙන් මෙරට වැසියා මුදා ගැනීමට තම කවිය අවියක් කරගත් ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් අපවත් වී මාර්තු මස 16 වැනි දිනට වසර හැටක් සපිරේ. මෙම ලිපිය උන්වහන්සේගේ කවිය, ජාතික විමුක්‌ති අරගලයට පාර පෙන් වූ ආකාරය පිළිබඳව කෙරෙන විග්‍රහයකි.
මධ්‍යම ආසියාවේ හිමාලය කඳුවැටියේ සීකිම් (SIKKIM) දේශයට උතුරු සීමාවේ ටිබෙටය නම් බෞද්ධ දේශයේ 1901 ජන්ම ලාභය ලද මහින්ද හිමියන්ට දෙමාපියන් විසින් එස්. කේ. තෂිනම්ගසල් ලෙස නම් තබන ලදී. කුඩා අවධියේම දෙමාපියන් අහිමි වූ තෂිනම්ගසල්ට සොහොයුරන් තිදෙනකු වූ බවට තොරතුරු හමු වේ. ඒ අතර තුන්වන සොයුරු සීකිම් පුණ්‌නජි හිමි නමින් පැවිදිව සිටි අතර කුඩා තෂිනම්ගසල් හට රැකවරණ සැපයූයේ උන්වහන්සේය. වැඩිමල් සොහොයුරා කල්කටා විශ්වවිද්‍යාලයේ ටිබෙට් භාෂාව පිළිබඳව කථිකාචාර්යවරයකු ලෙස කීර්තිමත් සේවයක් කළ අයෙකි. දෙවැනි සොයුරා ටිබෙට් රජුගේ අගමැති ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ වී තිබේ.
සීකිම් පූණ්‌නජි හිමිගේ මිත්‍රයෙකු වූ ජර්මන් ජාතික ඥනාතිලෝක හිමිගේ අවශ්‍යතාව මත සීකිම් පූණ්‌නජි හිමියන්ට ද ලංකාවට වැඩම කිරීමට සිදුවිය. එසේ සීකිම් පුණ්‌නජි හිමියන් හා ජර්මන් ජාතික ඥනාතිලෝක හිමියන් සමගින් කුඩා තෂිනම්ගසල්ට ද ලංකාවට පැමිණීමට සිදුවිය. ඒ 1912 වර්ෂයේය. කුඩා තෂිනම්ගසල් ලංකාවට පැමිණීම සිදුවූයේ ඒ අයුරිනි. දොඩම්දූවේ පොල්ගස්‌දූව ආරාමය මෙම තිදෙනාගේම වාසස්‌ථානය විය. පසුව අධ්‍යාපනය ලැබීමට පුණ්‌නජි හිමියන් සමගින් මරදාන මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙනට ගිය තෂිනම්ගසල් එහිදී සිංහල, පාලි, සංස්‌කෘත ආදි භාෂාද බුදුදහම හා නක්‍ෂත්‍රය වැනි විෂයන් ද ඉගෙන ගත්තේය. පසුව දොඩංදූව ශෛලබිම්බාරාමයේදී තෂිනම්ගසල් පැවිදි භාවයට පත්වන්නේ ටිබෙට් එස්. මහින්ද හිමි නමිනි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් රත්ගම සිරි චූලසුමන හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස උන්වහන්සේ එදා පැවිදිව දොඩංදූවේ වාසය කරන අතර තම සද්ධිවිහාරික දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ඇසුරින් තම සහජ කවිත්වය ඔප්නංවා ගත්තේය. ටිබෙට් එස්. මහින්ද හිමියන් මහා කවියකු බවට පත්කරන ලද්දේ දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ගුරු හරුකම් මගිනි. ජිනරතන හිමියන් අප්‍රකට වුවත් දක්‍ෂ කවියෙකි.
ටිබෙට් එස්. මහින්ද හිමියන් ප්‍රාචීන මධ්‍යම විභාගයන් ද සමත් වී ඇත. 1930 ජුනි 16 දින පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නාහිමි වෙතින් සියම් මහා නිකායේ පැවිදි භාවය ලබාගන්නා ලදී. ඒ කිරිගල්පොත්ත ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම ඉන්ද්‍රජෝති නායක හිමියන් ආචාර්ය කොටගෙනය. ඉන් වසරකට පසු මහනුවර ශ්‍රී පුෂ්පාරාම උපෝසථාගාරයේ දී සියම් නිකායේ උපසම්පදාව ලබන ලදී. 1934 දී පමණ මරදාන ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවයට එක්‌විය.
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් කොළඹ යුගයේ මුල් පරපුර නියෝජනය කළ කවියෙකි. කවියෙකු කලාකරුවෙකු ලෙස තම කාලීන යුග මෙහෙවර මනාව අවබෝධ කරගත් අප කථානායකයාණෝ නිදහස් අරගලයට බටුයේ “කවිය අවියක්” කර ගනිsමිනි. පද්‍ය කෘති විසි නවයක් පමණද ගද්‍ය කෘති එකොළහක් පමණ ද රචනා කර ඇති මහින්ද හිමිපාණන්ගේ නිර්මාණ අතර බහුතරයක් ළමා පද්‍ය විය. නිදහසේ මන්ත්රය, නිදහසේ දැහැන, ලංකා මාතා වැනි පද්‍ය කෘති දේශහිතෛෂී කාව්‍ය නිර්මාණයෝ වෙති.
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට යටත්වී විසීම ඉවසා සිටිය යුතු නොවන බවත් වහල්භාවය අපාගත වීම වැනි බවත් උන්වහන්සේ පෙන්වාදුන්නේ තම කාව්‍ය නිර්මාණ හරහාය.
“අවීචියේ කප් දහසෙත්
වහල්කමේ එක් දවසෙත්
වෙනසක් නැති බව සිතතොත්”
එවැනි වූ වහල් භාවයෙන් මිදීමට වෙහෙස ගැනීම සෑමදෙනාගේම යුතුකම බව උන්වහන්සේ අවධාරණය කරති.
“මගේ රට මගේ ජාතිය මගේ ගම
මගේ සත් සිරිත් සහ ජාතික උරුම
මගේ වැරයෙන්ම නිදහස් කොට තැබුම
මගේ යුතුකමැයි සලකව් හැම දෙනම”
මෙලෙස නිදහස අරභයා වෙහෙස නොවන අධිරාජ්‍ය ගැති ස්‌වභාවය අගය කරන විදේශිකයා හමුවේ බැගෑපත් වන ස්‌වදේශිකයන්ට මහින්ද හිමියන්ගේ නිර්දය විවේචනය එල්ල කරනුයේ මෙලෙසිනි.
“හංවඩු දී සූදුවෙන් ගවගාලක වූ ගවයෙක් වුව දැක්‌කොත්
සිංහ රැළක් දැක දෝත නගා බඩගාන හිවල් මොටයන් සේ
භංග තොටින් සිය වීර පුරිස් ගති උනට වඳිත් දන ගාලා
සිංහල පුත්තු ද මුන්දෑල අම්මෙනි හැමට නම් නොම තෙරේ”
විදේශිකයා යටත් විජිතයක් ලෙසට අපව පාලනය කිරීමේ පහසුව තකා ජාති, ආගම්, කුල, පක්‍ෂ ආදී භේදයන් ඇති කරමින් මෙරට ජනයා අසමගි කරන්නට කටයුතු කළ ආකාරය උන්වහන්සේ දකින්නේ තීක්‍ෂණ දේශපාලනික අවබෝධය ඇති කෙනකු ලෙසිනි.
“භේද සුළං සැඩ ජාතික ආලෙහි
රුක් මුල මුත් සොලවන්නා
හාද කමක් අඟවාම විදේශිකයා
ගිනි දැල් මොලවන්නා
මෙවැනි විපත්තින් සිදුකරමින් අපව පරාධීනත්වයට පත්කොට කටයුතු කරන අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කරන මෙරට ප්‍රභූ පැළැන්තිය ගර්හාවට ලක්‌කරනුයේ නිර්භීතකම ප්‍රකට කරමින්ය.
“ලොක්‌කන් යෑයි කියන මේ කාමුක හැත්ත
දුක් මිස අපට සැප නො යොදන බව ඇත්ත”
මෙලෙස ලොක්‌කන් අධිරාජ්‍යවාදීන් ඉදිරියේ දනින් වැටෙන එහෙත් පොඩි මිනිසාට තම ලොකුකම පාන අයුරුත් එය මහින්ද හිමියන් නොඉවසූ බවත් මෙම පද්‍යයෙන් ප්‍රකට වේ.
“පුළුවන්කාරයන් හමුවේ දනින් වැටී
සුළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී
බලුකම්වලින් අන්තිම බලු කමේ හැටී
බැලුමට කැමති නම් මුන් දෙස බලනු වටී”
අධිරාජ්‍යවාදීන්ට පමණක් නොව අධිරාජ්‍ය ගැති ස්‌වදේශිකයාට ද තම කවි අවිය එස වූ අයුරු යටකී පද්‍යයෙන් දක්‌නට ලැබිණි. අධිරාජ්‍යවාදී පාලනයෙන් හා එකී පාලනය අනුමත කළ මෙරට ප්‍රභූ පැළැන්තිය නිසා සමාජයේ ඇති නැති පරතරය වර්ධනය වූ අයුරුත් ගැති පිරිස්‌වලට පමණක් යම් යම් වරප්‍රසාද හිමි වූ බවත්, දුගී ජනයා තව තවත් පීඩනයට පත් වූ බවත් ටිබෙට් එස්. මහින්ද හිමියන් තම කවි බසින් පවසන්නේ මෙලෙසිනි.
“දුප්පත් අයට හිමි වතුපිටි ගොඩේ මඩේ
තක්‌කඩි කමින් කන දනපති කියන නඩේ
එක්‌කර නොලන්නේ අර තිරිසනුන් ගොඩේ
එක් වීලා ද යම රජටත් පගා ලෙඩේ
“එක විදිහටයි ලොව කවුරුත් උපන්නේ
එකකුට මොකද වැඩි කොටසක් බෙදන්නේ”
මෙම සමාජ අසාධාරණයට එරෙහිවීමද සැබෑ නිදහස් සටනේ කාර්යභාරය බව අවධාරණය කරනුයේ
“උස් තැන් කපා ඇද මිටි තැන් පිරවීම
උස් මිටි දෙකම වඳ කොට සම කරලීම” යනුවෙනි.
මෙම සමාජ ව්‍යසනයන්ට මුල් වූ මෙරට ප්‍රභූ පිරිස් අගයකරමින් ඔවුන් කටයුතු කරන ජනයා ද සිදු කරන්නේ එකී අධිරාජ්‍ය ගැති
පිරිස් සඳහා රුකුල් දීමක් බව මෙවැනි පද්‍ය මගින් ගම්‍යමාන වේ.
“වල්කම් කුහක කම් රටටම බෙදා දෙන
පැල්ලම් ගැහුණු සිරිතැති මුන් බදාගෙන
මල් වැල් පළඳවා මුලසුන පුදාලන
බොල් දිවයිනක් මෙය මිස නැත මෙදා වෙන”
රටට ව්‍යසන වූ මොහොතක ඒ ගැන නොසිතා උත්සව සාඡ්ජ පවත්වන පිරිස් කවියා අමතන්නේ ජඩයන් ලෙසිනි.
“හත් වේලකින් එක වේලක් නොදැක බැහැ
විත් බිඳ වැටෙන මිනිසා දෙස නොලා ඇහැ
උත්සව පවත්වන ජඩයිනි තොපේ දැහැ
රත් යහුලකින් ඇද දැමුවත් දොසක් නැහැ”
පරාධීනත්වය, සමාජ අසාධාරණය හා ඉන් වන පීඩනය කරුමය යෑයි ඉවසා දරා ඊට විරුද්ධ නොවන ජනයාට එය මිථ්‍යාවක් බව පවසමින් අරගලයට ආරාධනා කරන්නේ මෙලෙසිනි.
“කරුමෙන් වාසනාවෙන් මහිමයෙන් පිට
කිසිවක් නොසැලකේ යන මහ මුසා බස”
“පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා
යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා
ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා
බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා”
අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව අරගල කළ නොහැකිය යන්න මිථ්‍යාවක් බවත් සමගිව සටන් කිරීම ජයග්‍රහණයට මාවත බවත් පෙන්වා මහින්ද හිමියන් එදා ජනී ජනයා අවදි කළේය.
“මුළු වැර යොදා වැඩ කරතොත් ඇතුව හිත
පුළුවනි අපට බිඳුමට ලොකු අයගෙ මැත
කුළුගෙඩි පහර එක පිට එක හෙළන මැත
පළු පළු නොවන ගොරහැඩි කළු ගලක් නැත”
දේශීය ජනතාව නිදහස් සටනට කැඳවූ උන්වහන්සේ කලාකරුවකු ලෙස ඒ සඳහා පෙරමුණ ගත්හ. දැඩි බලපෑම් සහගත වාග් ශෛලයකින් එම පද්‍ය ඉදිරිපත් කොට ඇත්තේ අරගල කිරීම විනා නිදහස උදෙසා අන් මගක් නොමැති බව ඒත්තු යන අයුරිනි.
“රට සහ ජාති ආගම් තුන කරණ කොට
සටනට යමව් යෑයි හඬගා කියන කොට
මට බැහැ කීවොත් සිහලෙකු නම් ඔහුගෙ කට
පටවනු නිසිය ගිනියම් කළ ලොහොදි කැට”
ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
අතත් පයත් ඔලුවත් වෙන වෙනම කපා
කතත් කමක් නැහැ නැත බිය ගතිය සපා
අයුක්‌තියට අත් දෙක ඔසවන්න එපා”
අධිරාජ්‍ය විරෝධී නිදහස් අරගලයේදී සතුරා ඔබට පවසන්නේ අධිරාජ්‍යවාදීන් පමණක් නොව අධිරාජ්‍යවාදීන්ට සහය දෙන අපේ රටට සතුරු ස්‌වදේශිකයාද සතුරෙකු ලෙස සලකා කටයුතු කළ යුතුය. ටිබෙට් මහින්ද හිමිගේ නිදහස් අරගලයට ලබාදුන් දායකත්වය පරිපූර්ණ එකක් වන්නේ මේ සෑම ඉසව්වක් කෙරෙහිම උන්වහන්සේගේ අවධානය යොමු වූ බැවිනි.
“අපේ රටට පිළිමල් වන සතුරු මුළ
අපේ අයම නම් බිඳිනෙමු උන්ගෙ බල
අපේ මුතුන් මිත්තන් මළ සොහොන් වල
පිපේ එවිට ජාතික අභිමාන මල”
“ජාතික වැඩට මරගුල් අටවමින් සිට
නායක කමට දඟලන නිවටයන් හට
මේ ලක එකම අමුසොහොනක් කරන්නට
සාතික වෙන්න තරුණය අද පටන් සිට”
දේශයේ විමුක්‌තිය වෙනුවෙන් තරුණයන් නැගීසිටිය යුතුය. ඒ සඳහා දිවුරා පොරොන්දු විය යුතුයි සඳහන් කරයි. දේශයේ නිවහල් බව උදෙසා කටයුතු කළ යුත්තේ නම්බුනාම, තනතුරු, වරප්‍රසාද අපේක්‍ෂාවෙන් නොවන බවද උන්වහන්සේ පෙන්වා දෙති. කවියෙකු වශයෙන් මෙන්ම බෞද්ධ භික්‍ෂුවක් ලෙස එදා යුගයේ කාර්ය භාරය ලෙස උන්වහන්සේ තෝරාගත්තේ නිදහස් අරගලයමය.
“සහන ලැබෙන තුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරියට
මහණ කමත් බණ දහමත් එයයි මට”
ශාස්‌ත්‍රපති පොල්ගහවිල ඤාණකිත්ති හිමි.
තිලකපුර
http://www.divaina.com/2011/03/16/badada02.html