සැඳෑ කළුවර කුර ගගා විත්...
සෙමෙන් සෙමෙන් කුර ගාමින් සැඳෑ කළුවර පැමිණෙයි. අන්ධකාරය කෙමෙන් දැඩි වෙයි. ඒ
අඳුර තුළ ඔහු වෙසෙන පැල්පත සපුරාම මැකී යයි. එසඳ ඇගේ දසුනින් මැකී යෙන්නේ ඒ
පැල්පත පමණක්ම නොවෙයි. ඇයගේ සරා සඳ හෙවත් සරත් චන්ද්‍රයා වන ඔහුගේ දසුනද ඈත් වී
යයි. ඒ සරා සඳ ඈත් වත්ම, ඇයට දැනෙන්නේ තනිකමකි. දැරිය නොහෙන පාළුවකි.
එය සඳ නැති රැයක් බැව් අමුතුවෙන් කිව යුතු නොවෙයි. එකම එක වලාකුළකුදු අහස් කුස
නොදිස් වෙයි. ඇගේ සිතිවිලි ගල් ගැසී ඇත. ඇගේ මුළු සන්තානයම පාළුවට ගොසින්ය. ඒ
හුෙදකලා පාළු රාත්‍රියෙහි රජ වී ඇත්තේ අඳුර ම පමණි.
අන්ධකාරය කොතරම් නම් දැඩි වුවත්, කොතරම් නම් බියකරු වුවත්, ඔහුත් ඇයත් අතර
ඇත්තේ එකම එක රැයක දුර පමණය. එතෙකුදු, ඇයගේ හිස මත මහා බරකි. හිස මත ඇය දරාගෙන
සිටින්නේ, ගව් ගණන් දුර වූ ජීවිතේ බරය.
“සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ
මගෙ සරා සඳ
තනි වෙලා, මා තනි වෙලා”
නන්දා මාලිනිය “කන හෙව... මියුරු කොට” ගයන ඒ ගීයේ - ඒ ප්‍රේමාලාපයේ - පද පෙළ
මඩවල රත්නායක කවියාගේය.
ඉකුත් සියවසේ හැත්තෑ ගණන්වල බිහි වුණු මෙම අපූරු ගීතය මේ වන විට ගෙවමින්
සිටින්නේ ස්වකීය පස්වැනි දශකය හෙවත් “පඤ්ඤා” දශකයයි. එදවස, තමාගේම නව තනුවකට
අනුව, තමාගේම සංගීතය යොදා ගනිමින් එම පද පෙළ මනහරව මොනවට ගායනය කෙළේ විශාරද
නන්දා මාලිනිය බැව් මෙදවස සිහි කරන ශ්‍රාවක සහෘදය ගණ ඉතා දුලබය.
හෘදය සංවේදී නිර්ව්‍යාජ ප්‍රේමය ද, එකී ප්‍රේමයෙන්ම ජනිත ශෝකය ද සමෝසමව එකට කලතා
ගෙන අතිශයින්ම සුමධුර වූ කර්ණ රසාලිප්ත සංයත සෞම්‍ය ස්වරයෙන් කරන ලද ඒ ගායනය
සහෘදය හද වෙණ නින ද කළ අපූරුව අරුමයක්මැයි.
අපගේ ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයට අයත් වන මේ ගීතයේ ගායන ලීලාව තරමටම, පද
ලීලාව ද අපූර්වයකි. මඩවල රත්නායක නමැති ප්‍රතිභාමත් කවියා, ස්වකීය කාව්‍ය
රචනය අතික්‍රමණය කරමින්, වචනයේ මුළු අරුතින්ම ගේයපද රචකයකු බවට
පරිවර්තනය වුණු ආකාරය පිළිබඳ නිසැක නිදර්ශනයක් වැන්න, මේ ගීතයේ පද රචනය.
කිසියම් ගීත රචනයක් සරුසාර වන්නේත්, පොහොසත් වන්නේත් කවිතා ගුණයත්, ගේයතා
ගුණයත් සමෝසමව සුසංයෝග වූ කල්හිය. මේ නම්, ඒ පිළිබඳ ආදර්ශයක් වැන්න.
පළමු කොට, මේ රචනයෙහි වන කවිය - කවි ගුණය - විමසා බැලුව මැනවි. සැඳෑ කළුවර එන්නේ
කුර ගගාය. කළුවර කුර ගාමින් එතැයි පැවසිය හැක්කේ කවියකුටම පමණි. හරියට අලස
ගවයකු සන්ධ්‍යාවෙහි සිය ගාලට කුරා ගගා එන්නාක් මෙනි. කුර ගාන සැඳෑ කළුවරට මුවා
වී සිටින්නේ කවියෙකි; ප්‍රතිභා නැණින් යුතු මහරු කවියෙකි.
අවසාන ගී අඩෙහි කවි රූප ද විමසා බැලුව මැනවි. ඇගේ ලෝකයත්, ඔහුගේ ලෝකයත් අතර
ඇත්තේ රැයක් පමණය. එහෙත්, ධම්පියාවෙහි ‘දීඝා ජාගරතෝ රත්තී’ යයි කීවාක් මෙන්, ඒ
රාත්‍රිය දිගය; ඉතා දිගය. එකම රැයක දිග වුණත් ඇයගේ ප්‍රේමයට කල්පයක් සේ දැනෙයි. ඒ
නිසාම ඇගේ හිස ද බර වෙලාය. කුමකින් ද? ගව් ගණන් දුර ජීවිතයේ බරිනි, ඇයගේ හිස මත
ඇති ඒ බර, ප්‍රේමයේම බර බැව්, මෙතැන්හිදී කවරකුවත් අපට කියා දිය යුතු නැත.
මෙම රචනයේ කවිතා ගුණය එසේ දත යුත්තේය. ගේයතා ගුණය ද මඳක් විමසා බලමු.
“ඈත් වූ සඳ - මගෙ සරා සඳ”
“තනි වෙලා - මා තනි වෙලා”
“මගේ ලෝකය - ඔබේ ලෝකය”
මේ තන්හි අනායාසයෙන් එන පුනරුක්තියෙන් - අනුප්‍රාසයෙන් උත්කර්ෂයට
නැඟෙන්නේ රචනයේ ගේයතා ගුණයයි.
නවකතාව, කෙටිකතාව, කවිය හා ගීතය යන සාහිත්‍යාංගයන්හි මහත් පෙළහර පෑ මඩවල
රත්නායකයෝ පුවත්පත් කලාවේදය මෙන් ම ගුවන් විදුලිය සන්නිවේදනය යන
අංගයන්හිද ප්‍රවීණව සිටියාහුය. ඊට ද අමතරව, ඕමාර් ඛයියාම් කවියාගේ
‘රූබයියාට්’ කාව්‍යය සිවුපද කවියට නඟමින් අපූරු ගතක් ද කළහ.
වැඩසටහන් සම්පාදකයකු වශයෙන් ඔහු අපේ ගුවන් විදුලියේ ගත කළ කාලය, සිංහල ගීත
නිර්මාණයෙහි විශේෂ අවධියක් විය. පණ්ඩිත් අමරදේවත් සමඟ එක්ව ඔහු නිර්මාණය කළ
ගීත සම්භාරය අතර, විශේෂයෙන් ම කැපී පෙනුණේ අපගේ ජන ගීතයෙන් හා ජන කවියෙන් නොමඳ
ආභාසය ලබා නිමවන ලද රචනාවන්ය. ‘බමරකු ආවයි නිරිත දිගේයා’ වැනි ප්‍රබන්ධ මහත්
සංඛ්‍යාවක්, ඒ පිළිබඳ නිදසුන් කොට දැක්විය හැකි වෙයි.
පසුගිය තීරුවෙහිදී මඩවල ලියූ ‘ගී සින්දු සාහිත්‍යය’ යන කෘතිය ගැන මඳ සඳහනක්
කෙළෙමි. ඒ මහරු ගත නිමා කරමින් ‘ඔහු ලියූ මෙවදන්, මේ තීරුව අවසන් කරන්නට ද
සුදුසුතම වන්නේ නොවේද?
“ප්‍රේම යාදිනි, ප්‍රේම අඳෝනා කරමින් යෞවන හදවත් කුරෝලු කර ඇතත්, ගුවන් විදුලි
ජනාධිපති සම්මාන උලෙළ වෙනුවෙන් පැවැති ජනප්‍රිය ගායකයාත්, ගායිකාවත් තේරීමේ
තරගයෙන් ජයග්‍රහණ කර ඇත්තේ අමරදේව, නන්දා මාලිනි යන දෙදෙනාය. ජනතාව තවමත්
රැවටී නැති බව මෙයින් ඔප්පු වේ.
‘කැලෑ කොටා, ගිනිලා, දඬුවැට දමා, නවදැලි හේනේ කටුසර බෝග වපුරා තිබේ. මේ අතරින්
මතුවන “පොඩිසිංඤෝ මරං” පැළ අවදියේම විනාශ නොකොළොත්, ඒවා ලොකු වී, මල් පිපී, ඇට
සෑදී, සුළඟේ විසිරී ගිය විට, ලාංකික ජනතාවගේ ප්‍රයෝජනයට ගත හැකි කොස්, දෙල්,
පොල්, පුවක්, වගා කළ නොහැකි අන්දමට පොළොව නිසරු වෙයි. කුරක්කන්, අමු, මෙනේරි, ඇල්
වී වැපිරිය යුතු මේ බිමේ තිරිඟු වැපිරීමට ද නුපුළුවන.”
(- ගී සින්දු සාහිත්‍යය -, 1996 -, ගොඩගේ)