කාන්තා පක්ෂය ඇඳුම් පැලඳුම්වලට මොනතරම් කැමැති ද? වටිනාම ඇඳුමක් ඉහළම
ගාණකට මිල දී ගෙන අල්මාරියේ දාන්නේ ඇඳුමේ අරක්ෂාව, කල් පැවැත්ම ගැන දැඩි
හිතේ විශ්වාසයකිනුයි.
එහෙත් මාස කීපයකින් අල්මාරිය විවෘත කළ විට ඇඳුම වේයන් විසින් පස් ගොඩක්
බවට පත්කර තිබුණොත් . . . ආදරය කරන ප්‍රියතම ඇඳුමට පමණක් නොව ජීවිතයටත් එසේ
නොසිතිය හැකි විනාශයක් වෙන්න පුළුවන්. සියලුම රෝගවලට මුල්වන දියවැඩියාව
වැලඳුණොත් නිහඬවම මාරයා අප වෙත එන්න වැඩි කාලයක් ගත වෙන්නේ නෑ.
නිවෙසේ සෞඛ්‍ය අංශයේ ගෘහ මූලිකයා වන්නේ කාන්තාවයි. තමන්ගේත්, දූ
දරුවන්ගේත්, සැමියාගේත් සෞඛ්‍යයට පදනම වැටෙන්නේ මුළුතැන්ගෙයිදී ඇය අතට
ගන්නා හැන්දෙන්. බත්, ව්‍යාංජන, මැල්ලුම් මෙන්ම සීනි, ලුණු දමන හැන්දටත්
කෙනකුගේ ශරීර සෞඛ්‍යයේ මොනතරම් පෙරළියක් කළ හැකි ද? පෝෂ්‍යජනක කෑම බීම
ගැනීමට මෙන්ම ඇවිදීමට පවුලේ සාමාජිකයන් උනන්දු කරවීමේ වගකීමත් ගෘහණිය සතුව
තිබෙනවා.
විශාල උදරයක්, තර සිරුරක් තියෙන නිතර වෛද්‍ය පරීක්ෂණ වාර්තා මිටි රැගෙන
විශේෂඥ වෛද්‍ය වන්දනාවේ යන සාමාජිකයන් පවුලේ සිටිනවා නම් ඒ තත්ත්වයට ගෘහණිය
ද වගකිව යුතුයි. බොහෝ විට ගෘහණිය ද රෝගයේ ගොදුරක් වන අවස්ථා තිබෙනවා.
මෙවර නොවැම්බර් 14 වැනිදාට යෙදී ඇති ලෝක දියවැඩියා දිනයේ තේමාව පවුල හා
දියවැඩියාවයි. පවුල යනු අන් කිසිවෙක් නොව මුළුතැන්ගෙයි රැජන වන පවුලේ
සුවසෙතේ ගෘහ මූලිකාව වන කාන්තාවමයි. එනිසා රෝගයේ භයානකකම වටහාගෙන වහ වහාම
පිළියම් යෙදීමට මුල් පියවර ගත යුත්තේ ඇයමයි.
අපේ වැඩිහිටියන්ගෙන් 12 න් 1 ක් දියවැඩියාවෙන් පීඩා විඳිනවා.
ගැටවරයන්ගෙන් 6 න් 1 කට දියවැඩියා අවදානම තිබෙනවා. එයින්ම අදම පවුලේ
සාමාජිකයන් රෝගයෙන් ගලවා ගැනීමේ වැදගත්කම වටහාගත හැකි නේද? මේ දියවැඩියාව
අපේ ශරීරයට වින කරන අන්දමයි..
මුඛ සෞඛ්‍යට බලපාන අන්දම
දියවැඩියාව ඇත්නම් දත් ටික පරෙස්සම් කරගන්න ඕන බව අපි දන්නවා. ඒ
දියවැඩියාව නිසා අපේ මුඛය ප්‍රදාහයන්ට ලක්වීමේ වැඩි ඉඩක් පවතින නිසයි. ඒ
නිසා දත් හා විදුරුමස් රෝග වැලඳීමේ ඉඩ වැඩි වෙනවා.
දියවැඩියාව නිසා ප්‍රදාහයන් වැඩි වී ප්‍රතිශක්තිය දුබල වෙනවා. සිරුරේ
ප්‍රදාහයක් ඇති වූ විට ප්‍රදාහයට පත් වූ තැන වේදනාවක්, උණුසුමක්, රතුවීමක්
දක්වනවා. එවිට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවදුරටත් ප්‍රදාහය පැතිරීම
වළක්වනවා. එහෙත් දිගටම ප්‍රදාහ තත්ත්වය පවතිද්දී තදබල සෞඛ්‍ය ගැටලු ඇති වී
මුළු සෞඛ්යම පිරිහෙනවා.
හෘද රෝගවලින් මිය යාමේ අවදානම දියවැඩියාව නිසා වැඩි වන බව නොරහසක්.
එහෙත් විදුරුමස් රෝග ඇත්නම් අවදානම දෙගුණයකින් ඉහළ යනවා. වකුගඩු රෝගයක්
වැලඳීමේ ඉඩ නව ගුණයකට ආසන්නව ඉහළ යනවා. විදුරුමස් රෝග පාලනය නොකළොත්
රුධිරයේ සීනි මට්ටම පාලනය
වැඩි වී රෝගය වඩාත් උග්‍ර වෙනවා.
* ඇස්වලට වන විනාශය
රුධිරයේ සීනි මට්ටම වැඩිවීම ඇස්වලට හානි කරයි. එය තාවකාලිකව හෝ ස්ථිරවම
අපේ ඇස් දෙකේ පෙනීමට අහිතකරව බලපානවා. දියවැඩියාවේ අහිතකර ප්‍රතිඵල මුලින්ම
බලපාන ඉන්ද්රිය, අවයව අතරේ අපේ ඇස් දෙකත් තිබෙනවා. රුධිරයේ සීනි වැඩි බවට
ඇතිවන මුල්ම ලකුණක් පෙනීම බොඳ වී පෙනීම, ඇස් ඉදිමීම, ඇහේ සුද, ග්ලෝකෝමා
වැනි ඇසට වින කරන බොහෝ තත්ත්වයන්ට රුධිරයේ වැඩි සීනි මට්ටමින් මඟ පෑදෙනවා.
* සම වියපත් කරයි
දියවැඩියා රෝගීන්ගෙන් හතරෙන් එකක් ජීවිත කාලයේදී කිසියම්ම වූ සමේ
රෝගයකින් පීඩා විඳිනවා. මේ රෝගීන්ට සමේ දිලීර හෝ බැක්ටීරියා ආසාදන ඇතිවීමේ
ඉඩ වැඩියි. නිය ආසාදන ඇති විය හැකි තවත් සුලබ තත්ත්වයක්.
සිරුරේ තෙතමනය ඇති තැන්වල පලු ඇතිවීමට තිබෙන ඉඩ ද වැඩියි. පාදයේ, අතේ ඇඟිලි අතර, පියයුරු යට, මුවේ දෙකෙළවර පලු ඇතිවීමේ ඉඩ වැඩියි.
* වකුගඩු රෝගවලට මුලක්
රුධිරගත වැඩි සීනි වකුගඩු ක්‍රියාකාරිත්වයට බාධා සිදු කර විශාල හානියකට
මඟ පාදනවා. මුත්රාවල ප්‍රෝටීන් එක්වීම වැඩි වෙනවා. එමෙන්ම මේ අයට මුත්‍රා
මාර්ගයේ ආසාදන ඇතිවීමේ ඉඩ ද වැඩියි.
* උදරයට බලපෑම
අග්න්‍යාශයෙන් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවුණේ නැති විට මේදය
ශක්තිය බවට පරිවර්තනය වීම හරිහැටි සිදු වන්නේ නැහැ. එවිට සිරුරේ විස එකතු
වෙනවා. විස මට්ටම වැඩි වෙනවා. වෙහෙස, විජලනය, වැඩිපුර මුත්‍රා පිටවීම වැනි
ලකුණු ඇති වෙනවා. වමනය, ඔක්කාරය, මල බුරුලට යාම, පපුවේ දැවිල්ල වැනි ලකුණු ද
රුධිරයේ සීනි මට්ටම වැඩි වූ විට ඇති වෙනවා.
* මධ්‍යම ස්නායු පද්ධතියට දැඩි අවදානමක්
දියවැඩියා රෝගය නිසා ස්නායු පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකළ විට අධික ලෙස දහදිය දමනවා. සීතලක්, සිරුරේ වේදනාවක් ඇති වෙනවා .
* හදවත් රෝගවලට මඟක්
රෝගීන්ගේ හදවතේ සහ රුධිර නාලවල අභ්‍යන්තර බිත්තිවල අහිතකර පථ තැන්පත්
වීම වැඩි වී ප්‍රදාහයන් ඇති වෙනවා. මෙසේ වීම රුධිර ගමනාගමනයට බාධාවක්.
අහිතකර මේදය, කැල්සියම් වැනි රුධිරයේ ඇති ද්‍රව්‍ය පථ ලෙස තැන්පත් විය
හැකියි. මේ තත්ත්වය හදවත් මරණවලට මුල්වන හේතු අතර අංක එකේ තැන හිමි කරගෙන
සිටිනවා. අමෙරිකානුවන් වැඩි දෙනෙක් මිය යන්නේ මේ තත්ත්වයෙන්.
* ස්නායු පද්ධතියට වින කරයි
සිරුරේම ස්නායු පද්ධතියට දියවැඩියාව බලපානවා. එනම් ආහාර ජීර්ණයට, ශරීරය ක්‍රියාකරවීමට, ප්‍රජනක සෞඛ්‍යයට සියල්ලටම මෙය බලපානවා.
* මවු පදවියේදී ගැටලු ඇති කරයි
ගැබිනි සමයේදී ස්වාභාවිකවම සිදුවන හෝර්මෝන පෙරළිය ගර්භණී සමයේ
දියවැඩියාවට මඟ පාදනවා. ගර්භණී සමයේදී ප්‍රී එක්ලැම්සියා තත්ත්වයට පත්වීම ද
දියවැඩියා අවදානම ඉහළ නංවන සාධකයක්. එලෙසම ගැබිනි වියේ දියවැඩියාව ද,
ගැබිනි වියේ දියවැඩියාව හා ප්‍රීඑක්ලැම්සියා ඇති දෙපිරිසම ද දියවැඩියා
රෝගයේ අවදානම වැඩි කරනවා.
අන්ධවීමට මඟපාදන, හෘදයාබාධයකින්, වකුගඩු අකර්මණ්යවීමකින්, ආඝාතයෙන්
ජීවිතය කෙටි කරන දියවැඩියාව, පති පතිනියන්ගෙන් යුග දිවියේ සතුට උදුරා
ගන්නා, දෙපා තබා ඇවිදීමේ උපතින් ලද වාසනාව, දන්ත කල්‍යාණය, අහිමි කරන
දියවැඩියාව, නිරෝගී කිරිකැටියකු නිවෙසට කැන්දාගෙන යාමේ පින නැති කරන
දියවැඩියාව ගැන පුද්ගලයන් පුද්ගලයන් වශයෙන් නොව පවුලක් පවුලක් වශයෙනුත්
සමාජයක්, රටක් වශයෙනුත් සිතීමට කාලය ඇවිත්. එවන් වකවානුවකදී නිවෙසේ ගෘහණියට
දියවැඩියාව පවුලෙන් තුරන් කිරීමේ මුල් වෙඩි මුරය දැල්වීමේ වගකීම පැවරී
තිබෙනවා..
උපදෙස් - මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න
කායික රෝග විශේෂඥ වෛද්‍ය
පි‍්‍රයංකර ජයවර්ධන